Monday, April 29, 2013

සත්සරණි [8] - ඉවරා...යි

 මේ වෙනකං කියෙව්වේම නැත්නම්...
සත්සරණි [1] - අමතක නොවෙන කතාවක ඇරඹුම
සත්සරණි [2] - මවු යානාව වටා කක්ෂගත වේ
සත්සරණි [3] - රුපියල් දහදාහේ ඔරලෝසුව
සත්සරණි [4] - සත්සරණි අතුරුදහන් !
සත්සරණි [5] - බයෝ කරපු එකා මැත්ස් කරයි
සත්සරණි [6] - වශී ගුරුකම
සත්සරණි [7] - නුගේගොඩ හංදියේ මැරතන් ධාවනය

Mr Lonely ගේ ඉස්කෝලේ යාලුවෙක් එක්ක ඊට පස්සේ දවසක ගියා සත්සරණි ක්ලාස් ඇරිච්ච වෙලාවක බලන්න. පිරිස අතරේ සත්සරණි ඉන්නවා Mr Lonely දැක්කා.

" අන්න මචං ඩයල් එක "

යාලුවාට සත්සරණිව පෙන්නුවා. සත්සරණි ඒ වෙලාවේ සෙට් එකක් එක්ක හිටියේ. හදිසියේම දෙයක් යාලුවට මීටර් වෙනවා.

" මචං, උඹට පේන්නේ නැත්ද? අර ඉන්නේ ඒකිගේ කොල්ල නේ. "

Mr Lonely ගේ හිත ඒ කතාව පිලිගන්න කොහෙත්ම ලෑස්ති උනේ නැහැ. ලඟ හිටපු පලියට ඒක එහෙම වෙන්න පුලුවන්ද?

" උඹ පොඩ්ඩක් ඔතන හිටපන්කො. මං ගිහින් අහන්නම් "

කොහේ හරි තිබිලා එකපාරටම ආපු ගැම්මකින් මෙහෙම කියපු යාලුවා සෙට් එක ලඟට ගියා. Mr Lonely ටත් පුදුමයි මූට එක පාරටම මෙහෙම ගැම්මක් ආපු එක ගැන.

කොල්ලො සෙට් එක ලඟට ගිහිපු යාලුවාඋන් එක්ක කතා කරන්න පටන්ගන්නවා.

" මචං මෙයාව දන්නවාද? කවුරුහරි මේක දාගෙනද ඉන්නේ? "

යාලුවා මෙහෙම අහන්නේ ඒ කිට්‍ටුව ඉන්න සත්සරණිව පෙන්නන ගමන්.

" දාගෙන තමයි යකෝ ඉන්නේ. ඇයි.... උඹ ද බහින්නේ...? "

මූ මෙහෙම කියාගෙන යාලුවා ඉස්සරහට ආවේ ඌට දෙකක් තුනක් අනින්න හිතාගෙන වෙන්න ඕනේ.

[Image]


" නෑ නෑ මචං, මම නෙමෙයි... යාලුවෙක්... කවුරුහරි දාගෙන ඉන්නවා නම් වැඩේ අතැරලා දාන්න කියලා. හරියටම දැනගන්න ඕනේ නිසා ඇහුවේ... අවුලක් නෑ... මං ඌට සීන් එක කියන්නම්..."

යාලුවාගේ ශේප් තියරිය නිසා අරූගේ මල බැහැල ගියා. එහෙම්මම ආඳා වගේ ලෙස්සලා ආපු යාලුවා අකුරක් නෑර විස්තරේ කිව්වා.

යාලුවා විස්තරේ කියනකොට Mr Lonely ගේ ඇස් දෙකට කඳුළු පිරුණා . හිතේ තිබුන සිහින මාලිගා කඩා වැ‍ටුනා. මුලු ලෝකෙම අඳුරු වෙලා පාතාලයකට බහිනවා වගේ දැනෙන්න පටන්ගත්තා.

Mr Lonely සත්සරණි දිහා අසරණයෙක් වගේ බලාගෙන හිටියා. එයා මේවා ගැන දන්නේ නෑ.  Mr Lonely ගැන එයාගේ හිතේ කොණක වත් අදහසක් නෑ.

[Image]


තවත් බලං ඉඳලා වැඩක් නැති නිසා Mr Lonely නුගේගොඩින් රත්මලාන බස් එකකට නගිනවා ගෙදර එන්න. බස් එක යන අතරේ මුග්ධයා ට ගන්නවා කෝල් එකක්.

" හෙලෝ, මං Mr Lonely "

" ආ... අද මොකද උනේ ? "

" වැඩේ ගොඩ "

මුග්ධයා හිටපු තැනින් එකපාරටම නැගිටින්නේ ෆුල් හැපි එකේ.

" ඒ කියන්නේ කැමතියි කිව්වා කියලා ද? "

" පිස්සුද බං. අපිට කොහෙද බං ඕවා හරියන්නේ "

මුග්ධයාට දැන් නිකං හතරවෙනි තට්‍ටුවෙන් බිමට දැම්මා වගේ. මූ මොකක් කියනවා ද මන්දා.

මුග්ධයාට ඊලඟට ප්‍රශ්නයක් වත් අහන්න නොතියා වෙච්ච දේ කියනවා.

මුග්ධයා ගේ කටට මේ වෙලාවේ කියන්න කිසිම දෙයක් එන්නේ නෑ.

"දැන් ඉතින් තේරුමක් නෑ. හිත හදාගන්න වෙනවා. "

එහෙම කියපු Mr Lonely සංවාදය එතැනින් ඉවර කරනවා.



කතාව ඉවරයි...? නෑ නෑ.. තව පොඩ්ඩක් තියනවා.

මෙහෙම උනාය කියලා සත්සරණි ව හිතෙන් අයිං කරගන්න Mr Lonely ට ලේසි උනේ නෑ. විභාගෙට තිබුනේ තව සති කිහිපයක්  විතරයි. දැන් කොහෙත්ම ගොඩයාමක් නෑ.

ඊට පස්සේ දවසක PV උගේ ෆෝන් එකෙන්  සත්සරණි ක්ලාස් එකේ ඉන්න හැටි වීඩියෝ කරලා තිබුනා. මේ විඩියෝ එක Mr Lonely ගේ ෆෝන් එකට දාගත්තු දවසේ ඉඳන් කලේ පැය විසිහතරේම ඕක බල බල හිටපු එක තමා.

ඒත් අපිට වෙච්ච නරකම දේ දැනගන්න කොට අපි හොඳටම පරක්කු වැඩියි.

" සස්නා අපිව ඇන්දුවා...! "

ඔව්, සස්නා අපිට දීපු නම්බර් එක බොරු නම්බර් එකක්. කියපු නමත් බොරු එකක් වෙන්න ඕනේ. නැත්නම් ගුරුකම ගොඩයන්න එපැයි. වැඩේ හබක් උනාට පස්සේ කල්පනා කර කර ඉන්නකොට Mr Lonely ගේ ටිකිරි මොලේට මේවා කල්පනා වෙන්නේ.

සත්සරණිගේ ෆෝන් එක අපේ ඇස් දෙකට පේන්න තියන වෙලාවල් වල ගත්තු කිසිම කෝල් එකක් නිසා  සත්සරණි ගේ ෆෝන් එකෙ රින්ග්ස් යනවා අපි දැක්කේ නෑ. පස්සේ මිස් කෝල් ආපු වෙන නම්බර් වලටත් අපි කෝල් අරං බැලුවට සත්සරණිගේ ෆෝන් එක රින්ග් වෙනවා පෙනුනේ නෑ.

සස්නා ම වෙන්න ඇති බොරුවට සත්සරණි කියලා මැසේජ් එවන්න ඇත්තේ. මෙහෙම කරල ෆෝන් එකට රීලෝඩ් දාගන්න වගේ හිතන්න ඇති. එහෙම දත් ගලවන Mr Lonelyට දත් තියෙන්න එපැයි. ඒ වගේම පස්සේ කාලෙක ආරංචි වෙනවා සස්නා Mr Lonely ට කැමැත්තෙන් හිටපු බවක්.

මේ සියලු කරුණු සලකා බැලීමෙන් පස්සේ අපි ඒකමතික නිගමනයකට එනවා සස්නා පෙන්නපු රෙදි අපි කපලා මහල එම්බ්‍රොයිඩර් නොදා බාගේට ඇඳගත්තු බව.

Mr Lonely සස්නා එක්ක තිබුන සම්බන්ධකම් නිල වශයෙන් අවසන් කරන්නේ මෙතනින් පස්සේ.  සත්සරණි ඇතුලු පිරිසට අපි මේ වෙනකොට බයිට් පාර්සලයක් වෙලා ඉවරයි.

මෙ වැඩේ දැන් ඉවරයි උනාට සත්සරණි දිහා බලාගෙන ඉන්න එක Mr Lonely නතර කලේ නෑ. දවසක් අපි රොටරියේ පිටිපස්සේ පොළ පාරෙන් රොටරිය පැත්තට යනකොට සත්සරණියි එයාගේ යාලුවෙකුයි පොළ පාරෙන් පහලට එනවා. ඔව්, දැන් සත්සරණි මූනටම හම්බ වෙනවා.

" ආ... පොලේ යනවා වගේ.. "

කියාගෙන් සත්සරණි ගියා.

මේ කතාව මුග්ධයාට ඇහුනේ නෑ. මොකද මේක වැඩිය හයියෙන් කියපු එකක් නොවුන නිසා.  මේ වෙනකොට මෙයා ගැන හිතෙන් ගොඩක් අතැරලා හිත නිකන් නිර්වින්දනය වෙලා වගේ තිබුන නිසා බයිටට උනත් මේ කිව්ව දේ Mr Lonely ට එච්චර දැනුනේ නෑ.

[Image]


Mr Lonely දෙවනි පාර ඒ ලෙවල් කලේ නෑ. මොකද ඒ ලෙවල් කරනවා ට වඩා ගෙදර ආර්ථිකය ගොඩ ගැනීමේ කාර්යය Mr Lonely ට පැවරිලා තිබුන නිසා.

2009 දි Mr Lonely ඇස් කන්නාඩි විකුණන සාප්පුවක වැඩකරන කාලේ තමා අන්තිම පාරට සත්සරණිවයි එයාගේ අම්මවයි දකින්නේ. දෙවනින් පාරටත් ඒ ලෙවල් කරන්න ඇති කියලා Mr Lonely හිතාගත්තා. ඊට අවුරුද්දකට විතර පස්සේ ලංකාවේ ප්‍රසිද්ධ බැංකුවක ‍රැකියාව කරනවා කියලාත් ආරංචි උනා.

ඒ විදියට තාම මේ කතාව ඉවර වෙන්නේ. මේවා ලියන්න ඕනේ කියලා හිත හිත හිටියා අවුරුදු පහක්ම. අන්තිමට කොහොමහරි ලියනවා කියලා මුග්ධයා අතින් Mr Lonely ගේ පූර්ණ අධීක්ෂනය යටතේ ලියවුනු මේ කතාව මෙතැනින් සමාප්තයි!

2 comments:

  1. හ්ම්ම්ම්.. හිතට වදින කතාව. අපි හැමෝටම වෙන්නේ ඔහොම්ම තමයි. වලක් කැපුවොත් ගෙම්බෙක්

    ReplyDelete
  2. මුල ඉඳන්ම එක කොටසක්වත් නැතුව මම මේ කතාව කියෙව්වා ඒත් මම මේ විදියට අවසන් වෙයි කියලා හිතුවේ නැහැ.දැන් ඉතින් කරන්න දේකුත් නැහැනේ බන්.ඊට පස්සේ උඹේ සීන් එක ලියපන්.මම කිව්වේ දැන් කතාව? ප්‍රේමයක්ද? මැරී කරාද වගේ පස්සේ කතාව?

    ReplyDelete

හිතට එන ඕන දෙයක් ලියන්න.